නමස්කාර වේවා බුදු රැවනට සැමදා බුදු හිමි සරණ යමි.

කළන මිතුරැ සඟ රැවන වෙතින් නිති සම්බුදු බණ පද මටද ඇසේවා
නිවන සදන සිල් ගුණ සපුරන්නට ගෞතම මුනිඳුගෙ බණ සිහිවේවා
දුවන සිතට සැණසුම ලැබ දෙන්නට සමාධියේ සිසිලස සැළසේවා
පවන විලස පවු බැහැර කරණ්නට විදර්ශනා නුවනද ඇතිවේවා

Wednesday, January 2, 2013

ධම්ම පදය


දීඝා ජාගරතෝ රත්තී,
දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ,
සද්ධම්ම අවිජානතං

නිදිවරන්නාට රැය දිග ය.
ගමන් විඩා සහිතව ඇවිදින්නා හට යොදුන දිග ය.
සද්ධර්මය අවබෝධ නො කරන්නා වූ බාලයාට සසර දිග ය........


 එතකොට ඔහු ඒකෙන් මගහරින්න හේතු කියනව..
ධර්මය ඇසීමට තිබෙන අකමැත්තයි එකම හේතුව.
දරැ මල්ලන්ගෙ වැඩ තියනව රස්සාවල් කරණ්න තියනව ගෙදර වැඩ තියනව කියමින් ධර්මය ඇසීම මගහැරීමට නොයෙකුත් හේතු කියනව.


 පුත්තා මත්ථි ධනම්මත්ථි – ඉති බාලෝ විහඤ්ඤති
අත්තා හි අත්තනෝ නත්ථි – කුතෝ පුත්තා කුතෝ ධනං

 
“අනේ මට දරුමල්ලො ඉන්නවා. මට සල්ලි බාගෙ තියෙනවා” කියල අඥාන පුද්ගලයා ඒ මත්තේම හැපෙනවා. නමුත්, තමන්ට තමන්වත් නෑ. එහෙම එකේ දරුමල්ලො කොහෙන්ද? සල්ලි බාගෙ කොහෙන්ද?


තෙරැවන් සරණයි..............

න පරේසං විලෝමානි – න පරේසං කතාකතං
අත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච

අනුන්ගේ වචනවල ඇදකුද හොයන්ට ඕනෙ නෑ. අනුන් කළ – නොකළ දේවල් ගැන සොයන්ට ඕනෙත් නෑ. තමන් ගැනම බලාගත්තහම ඇති. තමන් කළ නොකළ දේ ගැන බලාගත්තහම ඇති.


ධම්ම පදය සිංහලෙන් කියවන්න මෙතන  කොටන්න.

ධම්ම පදය 



- ධම්මානුස්සති භාවනාව -
ස්වාක්ඛාත ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් ඉතාම යහපත් ලෙස ශ‍්‍රී සද්ධර්මය දේශනා කරන ලදී. එම ශ‍්‍රී සද්ධර්මයේ ආරම්භය වූ සීලයත් ඉතාම යහපත්ය. එහි මැද කොටස නම් වූ සමාධියත් ඉතාම යහපත්ය. එහි අවසාන කොටස නම් වූ ප‍්‍රඥාවත් ඉතාම යහපත් කොට දක්වන ලද්දේය. අර්ථ සහිතව පෙන්වා දෙන ලද්දේය. පැහැදිලි වචන වලින් පෙන්වා දෙන ලද්දේය. අතිශයින් ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ නිකෙලෙස් ජිවිතය පෙන්වා දෙන ලද්දේය.
එම නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය ඉතා යහපත් කොට වදාළ හෙයින් ස්වාක්ඛාත වන සේක. මෙසේ ස්වාක්ඛාත වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ස්වාක්ඛාත වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
සන්දිට්ඨික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය මේ ජීවිතය තුළ දී ම අවබෝධ කළ හැකි වන සේක. ඒ ශ‍්‍රී සද්ධර්මය සීල, සමාධි, ප‍්‍රඥා වශයෙන් දියුණු කළ හැකි වන සේක. ඒ ශ‍්‍රී සද්ධර්මය සෝවාන් මාර්ග – ඵල, සකදාගාමී මාර්ග – ඵල, අනාගාමි මාර්ග – ඵල, අරහත් මාර්ග – ඵල වශයෙන් අවබෝධ කර ගත හැකි වන සේක. ඒ ශ‍්‍රී සද්ධර්මය චතුරාර්ය සත්‍යය ධර්මය වශයෙන් මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි වන සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ‍්‍රී සද්ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි නිසා සන්දිට්ඨික වන සේක. මෙසේ සන්දිට්ඨික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ සන්දිට්ඨික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
අකාලික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය ඕනෑම කාලයකදී ඒ ආකාරයෙන්ම අවබෝධ කළ හැකි වන සේක. ඒ ධර්මයේ සඳහන් වන සීල, සමාධි, ප‍්‍රඥා හෝ මාර්ග ඵල හෝ චතුරාර්ය සත්‍යයාදී ධර්මයන් සදාකාලික සත්‍යයක් වශයෙන් පවතින නිසා ඕනෑම කාලයකට අවබෝධ කළ හැකි වන සේක.
මෙසේ අතීත, අනාගත, වර්තමාන භේදයකින් තොරව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ශ‍්‍රී සද්ධර්මය අවබෝධ කළ හැකි නිසා අකාලික වන සේක. මෙසේ අකාලික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ අකාලික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
ඒහිපස්සික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය ඇවිත් බලන්නැ’යි දක්වාලන, දෙව් මිනිසුන් අතරට විවෘත භාවයට පත් වූ සේක.
රහස් බණ, රහස් උපදෙස්, සැඟවී කතා බස් කිරීම් නොමැති මේ ශ‍්‍රී සද්ධර්මය හිරු මඬල දක්වන්නා සේ සඳමඬල දක්වන්නා සේ හඬ නගා පෙන්වා දිය හැකි සේක. මෙසේ නුවණින් විමසා බලන්නැ’යි දෙව් මිනිස් ලෝකයා හමුවේ විවෘතව තබන ලද නිසා, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය ඒහිපස්සික වන සේක.
මෙසේ ඒහිපස්සික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ඒහිපස්සික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
ඕපනයික ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය මනාකොට ශ‍්‍රවණය කිරීමෙන්ද, මනාකොට ධාරණය කිරීමෙන්ද, වචනයෙන් පුරුදු කිරීමෙන්ද, නුවණින් මෙනෙහි කිරීමෙන්ද, ධර්මානුධර්ම ප‍්‍රතිපත්තියේ යෙදීමෙන්ද, තම තමන් ගේ ජීවිත තුළට පමුණුවා ගත යුතු හෙයින් ඕපනයික වන සේක.
මෙසේ ඕපනයික වූ ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ ඕපනයික වූ ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහී ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ‍්‍රී සද්ධර්මය වනාහී ඕනෑම ජාතියක, ඕනෑම ගෝත‍්‍රයක, ඕනෑම කුලයක, කපටි නැති, මායා නැති, අවංක ගති ඇති ප‍්‍රඥාවන්තයින් හට තම තම නැණ පමණින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කළ හැකි නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වන සේක.
මෙසේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වන ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. මෙසේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වන ශ‍්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! 



සාදු සාදු සාදු